
2019 අවුරුද්දේ මුළු ලෝකය පුරාම වයිරල් වුණු මේ ප්‍රසිද්ධ ඡායාරූපය ඔබ දැකලා ඇති. එවරස්ට් කඳු මුදුනට යන්න මිනිස්සු පෝලිමක් හැදිලා ඉන්නවා හරියට මහ පාරේ වාහන තදබදයක් වගේ…
උන්න ඒ ලෝක ප්‍රසිද්ධ ඡායාරූපය කැමරාවට නැගුවේ කවුද කියලා ඔබ දන්නවද?
ඔහු තමයි අද අපි කතා කරන්න යන මේ කතාවේ වීරයා.
ලෝකයේ උසම කඳු මුදුන් 14ක්… එහෙමත් නැත්නම් මීටර් 8,000ට වඩා උසින් පිහිටි මරණයේ කලාපය හෙවත් Death Zones සියල්ලම තරණය කරන්න සාමාන්‍ය දක්ෂ කඳු නගින්නෙකුට අවුරුදු 7ක්වත් ගත වෙනවා.
ශැබැයි එක මිනිසෙක් මේ අභියෝගය මාස හයයි දින හයකින් ජයගත්තා.
ඒ අසහාය මිනිසා තමයි නිර්මල් පූර්ජා (Nirmal Purja).
මුලු ලෝකයම ඔහුට ආදරේට කියන්නේ Nimsdai කියලයි.
නිර්මල් පූර්ජා කියන්නේ ධනවත් පවුලක උපන් කෙනෙකයි නෙවෙයි. ඔහු ඉපදුනේ නේපාලයේ මියාග්ඩි කියන දුෂ්කර ගම්මානයේ.
කුඩා කාලයේදී ඔහු ඇදුම රෝගයෙන් පවා පීඩා වින්දත් ඔහුගේ එකම අරමුණ වුනේ බි්‍රතානය ගුර්කා බලකායට බැදෙන එකයි.
2003 දී ඒ හීනය සැබෑ කරගන්නා ඔහු 2009දී ලෝකයේ තියෙන භායනකම හමුදා ඛණ්ඩයක් වන බි්‍රතාන්‍ය නාවික හමුදාවේ විශේෂ ප්‍රහාරක බලකායට එක්වෙනවා.
දක්ෂ ස්නයිපර්වරයෙක් විදියටත් ඔහු යුද පිටියේ සේවය කළා. යුද පිටියේ තිබුණු මේ අතිශය දුෂ්කර පුහුණුව සීතල සහ මරණය එක්ක කරන නිරන්තර සටන… ඔහුගේ මනස යකඩයක් වගේ ශක්තිමත් කළා.
කිසිම අත්දැකීමක් නැතුව 2012 වර්ෂයේදී මීටර් 6,119ක් උසැති Lobuche East කන්ද තරණය කරමින් කඳු නගින්න පටන් ගත්ත නිර්මල්ට තේරෙනවා ඔහුගේ සැබෑ හැකියාව තියෙන්නේ මේ නිහඬ හිම කඳු මුදුන්වල කියලා.
2019දී තමන්ගේ සුරක්ෂිත හමුදා රැකියාව අතහැරලා ඔහු ලෝකයම පුදුම කරන Project Possible දැවැන්ත මෙහෙයුමට අතගහනවා. එහි අරමුණ වුණේ මාස හතක් ඇතුළත ලෝකයේ මීටර් 8000ට වඩා උස කඳු මුදුන් 14ම තරණය කිරීමයි. අරමුදල් හොයාගන්න බැරුව අන්තිමේදී ඔහුට තමන්ගේ එකම නිවස පවා උකස් කරන්න සිද්ධ වුණා.
සියලු අභියෝග මධ්‍යයේ නිර්මල් තමන්ගේ වාර්තාව ගැනවත් ජීවිතේ ගැනවත් නොහිතා කඳු මත අතරමං වූ වෙනත් කඳු නගින්නන්ව පවා බේරා ගනිමින් හරියටම මාස හයයි දවස් හයකින් කඳු 14ම ජයගෙන ලෝක වාර්තාව අලුත් කළා.
2021 ජනවාරි මාසයේදී සීත සෘතුවේදී කිසිම දවසක තරණය කිරීමට නොහැකි යැයි සම්මත වෙලා තිබුණු අතිශය භායනක K2 කඳු මුදුනට කිසිම අමතර ඔක්සිජන් සහායක් නොමැතිව නැගීමටද ඔහු සමත් වුණා.
මෙලෙස අභියෝග ජයගත් මේ වීර චාරිකාව අද වන විට මුලු ලෝකයම කම්පා කරවන පුවතක් බවට පත්වෙලා තිබෙනවා.
පසුගිය බ්‍රහස්පතින්දා චීන – පාකිස්ථාන දේශසීමාවේ පිහිටි කරකෝරම් කඳු වැටියට අයත් ලෝකයේ 12 වැනියට උසම කන්ද වන මීටර් 8,047ක් උසැති බ්‍රෝඩ් පීක් කන්ද තරණය කරමින් සිටියදී නිර්මල් පූර්ජා නායකත්වය දුන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අවාසනාවන්ත ලෙස දරුණු හිමි කඳු කඩා වැටීමකට ලක්වුණා.
මේ වන විට කණ්ඩායමේ කිහිප දෙනෙකුගේම මළ සිරුරු සොයාගෙන තිබෙනවා. ඒ අතර නිර්මල් පූර්ජාත් ඉන්නවා.
“මනස ශක්තිමත් නම්, ඔබබ විශ්වාස කරනවා නම්… මේ ලෝකේ කිසිම දෙයක් Impossible නෑ.” – මෙය නිර්මල් පූර්ජා නිතර කියන කතාවක්.

මරණයේ කලාපයන්හි සීමාවන් බිඳ දැමූ මේ අපූර්ව මිනිසා සහ ඔහුගේ කණ්ඩායම හිම කඳු අතර ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් අවසානයේ ඒ හිම යටම සැඟව ගියා.



