HomeForiegn Newsතවමත් සත්‍යය සොයමින්'වසර 30කට පෙර ඝාතනය වූ සික් ක්‍රියාකාරිකයාගේ උරුමය

තවමත් සත්‍යය සොයමින්’වසර 30කට පෙර ඝාතනය වූ සික් ක්‍රියාකාරිකයාගේ උරුමය

මීට වසර 30කට පෙර ඝාතනයට ලක්වූ මානව හිමිකම් ක්‍රියාකාරික ජස්වන්ත් සිං ඛල්රාගේ දියණිය වන නව්කිරාන්, සිය පියාගේ උරුමය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් යුක්තිය සෙවීමේ අරගලය පිළිබඳව අදහස් දක්වා තිබෙනවා.

1995 සැප්තැම්බර් 6 වනදා පන්ජාබ් ප්‍රාන්තයේ අම්රිත්සර් නුවර පිහිටි සිය නිවස ඉදිරිපිට සිටියදී පොලිසිය විසින් ඔහුව පැහැරගෙන ගොස් තිබෙනවා. දින ගණනාවක් වධ හිංසා කිරීමෙන් පසු ඔහුව ඝාතනය කර ඇති අතර, ඔහුගේ සිරුර කිසිදා සොයාගැනීමට හැකිවී නැති බවයි වාර්තා වන්නේ.

1980 ගණන්වල පන්ජාබ්හි ඇතිවූ කාලිස්තාන බෙදුම්වාදී ව්‍යාපාරය අතරතුර, ආරක්ෂක හමුදා විසින් සිදුකළ දහස් ගණනක් අතුරුදන් කිරීම් සහ නීති විරෝධී ඝාතන පිළිබඳව විමර්ශනය කිරීම ඔහුගේ ඝාතනයට හේතු වී තිබෙනවා.

1984 වසරේ අම්රිත්සර් රන් දෙවොලට හමුදාව කඩා වැදීමෙන් පසු සික් විරෝධී කෝලාහල හටගෙන තිබෙනවා. ඉන්පසු පන්ජාබ්හි ක්‍රියාත්මක වූ මර්දනයේදී ආරක්ෂක අංශවලට වධහිංසා පැමිණවීමට සහ ඝාතනය කිරීමට පවා විශේෂ බලතල හිමිවී තිබෙනවා.

42 හැවිරිදි බැංකු කළමනාකරුවෙකු වූ ඛල්රා 1995 දී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ, මළ සිරුරු 25,000ක් පමණ “හඳුනා නොගත්” සහ “හිමිකම් නොලබන” ලෙස ලේබල් කර පොලිසිය විසින් ආදාහනය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් දිගින් දිගටම හඬ නැගීම නිසා ඔහුට තර්ජන එල්ල වී තිබෙනවා.

ඔහුගේ ඝාතනයෙන් පසු බිරිඳගේ මැදිහත්වීමෙන් සිදුකළ පරීක්ෂණවලට අනුව, ඛල්රාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී තිබෙනවා.

එහෙත් තවත් දහස් ගණනක් අතුරුදන් වූවන්ගේ පවුල් තවමත් යුක්තිය අපේක්ෂාවෙන් සිටින බවයි සඳහන් වන්නේ.

මේ අතර, ඛල්රාගේ ජීවිතය අලලා නිර්මාණය කළ “සට්ලුජ්” (Sutlej) නම් චිත්‍රපටය පසුගිය මාසයේදී ප්‍රවාහ වේදිකාවකට (Streaming platform) මුදාහැර තිබෙනවා. එහෙත් ආරක්ෂක ගැටලු මතුකරමින් ඉන්දීය රජය පැය 48ක් ඇතුළත එය අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත්, සික් කණ්ඩායම් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් මෙම චිත්‍රපටය ඉන්දියාවේ සහ විදේශයන්හි ප්‍රජා ප්‍රදර්ශන ලෙස පෙන්වීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01