HomeNewsඅශ්වබල 85ට වැඩි බෝට්ටු ග්‍රෙගරිවැවෙන් ඉවතට

අශ්වබල 85ට වැඩි බෝට්ටු ග්‍රෙගරිවැවෙන් ඉවතට

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා රුපියල් බිලියන 25ක්

නුවරඑළිය ග්‍රෙගරිවැවේ දැනට පවත්වාගෙන යන ඇතැම් බෝට්ටු සේවාවන් තුළින් සිදුවන අනතුරු බහුල නිසා එම බෝට්ටු සේවාව මාස දෙකක් ඇතුළත විදිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා නුවරඑළිය නාගරික කොමසාරිස් ඉෂාන් විජයතිලක මහතා වෙත ඊයේ(25) දින උපදෙස් දී තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම කමිටුවේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශ්‍රාමික ප්‍රජා විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වා තිබෙනවා.

මෙහිදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන් විමසා සිටියේ දැනට නුවරඑළිය ග්‍රෙගරිවැවේ පවත්වාගෙන යන බෝට්ටු කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න පිළිබඳවයි.

එහිදී බෝට්ටු 129ක් සාමාන්‍ය බෝට්ටු ලෙෂත් ජෙට්ස්කි බෝට්ටු 21ක්ද ග්‍රෙගරිවැවේ ධාවනය කරවන බවද නාගරික කොමසාරිස්වරයා පවසනවා.

ඉන් ඇතැම් බෝට්ටු සේවාවන් ලියාපදිංචි නොවී රක්ෂණ සහතිකයක් පවා නොමැතිව ධාවනය කරවන බවට මෙම රැස්වීමේදී හෙළිදරව් වී තිබෙනවා.

මින් ඉදිරියට අශ්වබල 85ට වඩා ධාරිතාවයකින් යුත් බෝට්ටු ධාවනයෙන් ඉවත් කිරීමටත්, අශ්වබල 85ට වඩා බෝට්ටු ධාවනය තුළින් ග්‍රෙගරිවැවේ පරිසරයට හානියක්ද සිදුවන බවයි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වූ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකුම කියා සිටියේ ග්‍රෙගරිවැවේ කිලෝමීටර් 4 1/2ක වපසරියකින් යුතු බවත්, එම වැවේ සුන්දරත්වය නරඹමින් වැව වටේ බෝට්ටු සවාරියක් යාමට අවසර ලබාදීම තුළින් ග්‍රෙගරිවැවේ බෝට්ටු සවාරි යන සංචාරකයන්ගේ ආරක්ෂාව මෙන්ම ග්‍රෙගරිවැවේ පරිසරයද ආරක්ෂාවන බවයි.

ග්‍රෙගරිවැවේ බෝට්ටු සේවය පවත්වාගෙන යාමට ලබාදී ඇති නිර්නායකවලට පටහැනිව බෝට්ටු සේවාවන් පවත්වාගෙන යන බවට නාවික හමුදාවෙන්ද තමන් වෙත පවසා ඇති බවයි නාගරික කොමසාරිස්වරයා මෙම රැස්වීමේදී කියා සිටියේ.

ග්‍රෙගරිවැවේ විනෝදස්වාදය සඳහා පවත්වාගෙන යන බෝට්ටු සේවාව සහ අනෙකුත් සේවාවන් තුළින් නුවරඑළිය මහ නගර සභාවට වාර්ෂිකව ලැබෙන ආදායම ඉතා අඩු බවත්, එම ආදායම් තත්ත්වය වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා සවිින් නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ග්‍රෙගරිවැවේ අපජල කළමනාකරණය සහ පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා රජය මගින් රුපියල් බිලියන 25ක ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා ග්‍රෙගරිවැවේ පාලනය සහ නඩත්තු කටයුතු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට භාරදීමටත් ග්‍රෙගරිවැවේ ආදායම් උත්පාදනය සහ ග්‍රෙගරිවැව අවට පරිසරය අලංකාරව පවත්වාගෙන යාම නුවරඑළිය මහ නගර සභාවටත් බලය පැවරෙන සේ දෙපාර්ශ්වයම සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි ගිවිසුමකට දින වකවානු යොදා ගනිමින් එළඹෙන ලෙෂ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා නුවරඑළිය නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01