අමෙරිකාවේ ඉන්ධන මිල ඉහළ යාමට ඉරානය සමඟ පවතින යුද්ධය හේතුවක් නොවන බවත්, ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ යුක්රේනය වගකිව යුතු බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මධ්‍යවාර මැතිවරණය ආසන්නව තිබියදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ඉරාන යුද්ධයෙන් ඉවත් කර ඩිමොක්‍රටික් පක්ෂය සහ යුක්රේනය වෙත යොමු කිරීමටයි ඔහු උත්සාහ කර ඇත්තේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වාර්තාගත තෙල් ප්‍රමාණයක් මේ වන විට ගමන් කරන බැවින් ඉන්ධන මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව පිරිපහදු මධ්‍යස්ථාන බව ඔහු සඳහන් කර තිබෙනවා.
රුසියාවේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත යුක්රේනය එල්ල කරන ප්‍රහාර සහ ඩිමොක්‍රටික් පක්ෂය පාලනය කරන කැලිෆෝනියා වැනි ප්‍රාන්තවල පිරිපහදු මධ්‍යස්ථාන වසා දැමීම ඊට හේතු ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, යුද්ධය ආරම්භ වීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා දෛනික තෙල් අපනයනය 97%කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.
මේ අතර, අමෙරිකාවේ පෙට්‍රල් ගැලුමක සාමාන්‍ය මිල මේ වන විට ඩොලර් 4.36ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මසකට පෙර පැවැති ඩොලර් 4.14ක මිලට වඩා ඉහළ අගයක්.
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට පළමු ප්‍රහාර එල්ල කළ පෙබරවාරි 28 වැනිදා පෙට්‍රල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 2.98ක් ලෙස පැවැති බවද අමෙරිකානු ඔටෝමොබයිල් සංගමයේ දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



