HomeEntertainmentකරපු හැම චරිතයක් ගැනම තෘප්තිමත්

කරපු හැම චරිතයක් ගැනම තෘප්තිමත්

- රංගන ශිල්පී තුසිත ලක්නාත්

මේ දිනවල දිලංක රංගනාත් ගේ ”ඩිංගා” චිත‍්‍රපටයේ ඩිංගාගේ චරිතය තුළින් ප්‍රේක්ෂකාගාරය හමුවට එන දෙවැනි ඉනිම, සකර්ම, සංසාරාරණ්‍ය අසබඩ, භවාන්තර, කූඹියෝ වැනි ටෙලි නාට්‍ය තුළින් සහ අහසින් වැටෙයි, ආකාස කුසුම්, නිනෝ ලයිව්, සක්කාරං, ස්වරූප, නෙළුම් කුලූන යන සිනමා නිර්මාණයන් තුළින් සිය රංගන කෞෂල්‍ය විශද කළ සම්මානනීය ජනප‍්‍රිය ශිල්පී තුසිත ලක්නාත් සමග සිදු කළ කතාබහකි.

  •  ඉතින් මේ දවස්වල කොහොමද ඔබේ වැඩ කටයුතු?

    මේ දිනවල නම් මගේ කලා කටයුතුවලින් පොඩි කාලයකට ඈත් වෙලා විදේශගත වෙලා තමයි ඉන්නෙ. ඒ වුණාට රංගන ශිල්පියෙක් විදිහට මම ස්වයං පුහුණුවක නිරන්තරයෙන්ම නියැළෙනවා. ඒ වගේම මේ දිනවල මම රංගනයෙන් දායක වුණ ඩිංගා චිත‍්‍රපටය තිරගත වෙනවා. ඉතින් මගෙත් පොඩි බලාපොරොත්තුවක් තියෙනවා සිනමා නිර්මාණයක් කරන්නත්. ඒ වැඩකටයුතුත් සැලසුම් කරන ගමන් මේ දවස් වල මගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නවා.

  • තුසිත ලක්නාත් කොහොමද කලා ක්ෂේත‍්‍රයට සම්බන්ධ වෙන්නෙ, ඒ ගමන් මඟ ගැන කිව්වොත්?

    මම පුංචි කාලෙ ඉඳලම ආස කළේ නළුවෙක් වෙන්න. මගේ මාමා කෙනෙක් වේදිකා නාට්‍ය සංවිධායක වරයෙක් විදිහට කටයුතු කළා. ඉතින් මම මාමා එක්ක පුංචි කාලේ නාට්‍ය බලන්න යනවා. එතනදී තමයි මට මේ ක්ෂේත‍්‍රය ගැන උනන්දුව එන්නෙ. කලා ක්ෂේත‍්‍රයට එන්නේ 2002 වසරේදී වේදිකා නාට්‍ය හරහා. ටවර්හෝල් රඟහල පදනමේ නාට්‍ය පාඨමාලාවක් හදාරලා, වේදිකා පරිපාලකයෙක් විදිහට වැඩ කටයුතු කළා. 2007 වසරෙදී තමයි මම රංගන ශිල්පියෙක් විදිහට වේදිකාවට අවතීර්ණ වෙන්නේ. ඉතින් ඊට පස්සේ වේදිකා නාට්‍ය බොහෝමයක වගේම ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට සහ සිනමා ක්ෂේත‍්‍රයට මගේ රංගන දායකත්වය ලබා දෙනවා .මේ ගමන් මගේදී නිර්මාණ බොහෝමයක මගේ රංගනය වෙනුවෙන් හොදම නළුවා, හොඳම සහය නළුවා යන අංශයන්ගෙන් සම්මානයන් හිමිකර ගන්නවා.

  • මේ දින වල ඔබ සිනමා ප්‍රේක්ෂකාගාරයට එන්නෙ ‘‘ඩිංගා’’ චිත‍්‍රපටයේ ‘‘ඩිංගාගේ’’ චරිතයෙන්. තුසිත ලක්නාත් කොහොමද ‘ඩිංගා’ බවට පත් වෙන්නෙ.

    ඩිංගා චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ දිලංක රංගනාත් හරහා තමයි මට ඩිංගා කියන චරිතය හම්බවෙන්නෙ. මොකද අපි හොද යාළුවො. මම හොද ටයිපිස්ට් නිසා ඩිංගා සිනමාපටය මුලින්ම මට ලැබුණේ ස්ක‍්‍රිප්ට් එක ටයිප් කරන්න. ඉතින් ඊට පස්සෙදී තමයි මට ඩිංගාගේ චරිතයට පණ පොවන්න ආරාධනාව හම්බවෙන්නෙ.

  • කොහොමද මේ දවස් වල ඩිංගාට තියෙන ප්‍රේක්ෂක ප‍්‍රතිචාර එහෙම

    ප‍්‍රතිචාර ඇත්තටම ගොඩක් හොඳයි. ඇතැම් පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර හරිම පුදුම සහගතයි. ඉතින් ඒගොල්ලෝ සෑහෙන්න කැමතියි වැඬේට. මම මේ දිනවල ඉන්නෙ ලංකාවෙ නොවුණත් පේ‍්‍රක්ෂකයෝ, මගේ යාළුවෝ කතා කරලා වැඬේ මරු, ලස්සනයි කියනවා. ඉතින් මට තේරෙන විදිහට ෆිල්ම් එක තුළින් පේ‍්‍රක්ෂකාගාරයෙ හොඳ කැලඹීමක් ඇති කරගන්න පුළුවන් කියලා මට හිතෙනවා.

  • මෙතෙක් කල් රඟපාලා තියෙන චරිතවලින් ඔබ වැඩිපුරම කැමති මොන චරිතයටද?

    ඇත්තටම මගේ රංගන ජීවිතේදි මම පණ පොවපු හැම චරිතයකටම මම ගොඩක් කැමතියි.මොකද වේදිකාවේ, ටෙලිනාට්‍ය, සිනමාව මේ හැම එකකම මෙතෙක් මට ලැබුණු හැම චරිතයක්ම එකිනෙකට වෙනස් ඒවා. ඉතින් මම නිරූපණය කරපු හැම චරිතයක් ගැනම මට තියෙන්නෙ තෘප්තිමත් හැඟීමක්.

  • ඔබ හිතන විදිහට රංගනය හෝ කලා ක්ෂේත‍්‍රයට පිවිසීමේදී ඒ පිළිබදව හැදෑරීමක් අවශ්‍යද?

    ඇත්තටම මම හිතන විදිහට ඕනෑම ක්ෂේත‍්‍රයක හැදෑරීමක් තිබිය යුතුයි. ඒ වගේම කලා ක්ෂේත‍්‍රය තුළත් ශාස්ත‍්‍රීය හෝ වේවා ප‍්‍රායෝගික හෝ වේවා ඒ පිළිබද යම් අවබෝධයක් තිබීම මගින් ගුණාත්මක නිර්මාණයක් පේ‍්‍රක්ෂකාගාරයට ලබා දෙන්නට පුළුවන්.

  • ඇයි ඔබ මේ විදිහට කෙටි කාලයකට හෝ ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙන්න හිතුවෙ?

    ඇත්තටම මම ඒක මෙහෙම කියන්නම්කො. අපි නළුවෝ විදිහට වැඩ කරාට ඒවා ඒ ඒ කාලෙදී පේ‍්‍රක්ෂකයන්ට යන්නේ නැහැ. එතකොට තවමත් මාව මිනිස්සු දන්නේ දෙවෙනි ඉනිමේ රනේ විදිහට. ඒකට මට අකමැත්තක් නැහැ. නමුත් මට හිතෙනවා වෘත්තිය රංගන ශිල්පියෙකුට ඒ විදිහ හොඳ නැහැ කියලා. ඔබ ඇහුවෙ මම ක්ෂේත‍්‍රයෙන් ඈත් වුණ හේතුවනෙ. ඒකට මම මෙහෙම උත්තර දෙන්නම් මට රට යන්න වෙන්නෙ. රටේ තියෙන සමාජ ආර්ථික තත්ත්වයේ ස්වභාවය නිසා. මොකද මම කුඩා කාලේ දුක් විඳපු කෙනෙක්. මගේ දරුවෝ එහෙම දුක් විඳින්න ඕනේ නැහැ කියන හැඟීමක් තියෙනවා. ඇත්තටම ඉතින් අපි සාමාන්‍ය පවුල්වල අය, නළුවෝ කියලා අපිට මාර ජීවිතයක් කියන එකක් නැහැ.

  • ඉදිරියේදී ඔබව අපිට දකින්න පුළුවන් වෙන්නෙ රංගන ශිල්පියෙක් විදිහටද, නැත්නම් වෙනත් බලාපොරොත්තු තියෙනවද?

    ඇත්තටම මම රංගන ශිල්පියා කියන භූමිකාවෙන් එහාට ගිහින් ඉදිරියේදී සිනමාපටයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

– දිනුෂා දිසානායක

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01