ගාසා තීරය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් සාම සැලැස්ම ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබෙනවා.
ඉරිදා පැවති කැබිනට් රැස්වීමකදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, හමාස් සංවිධානය සැබවින්ම නිරායුධ වන තුරු ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගැනීමක් සිදු නොකරන බවයි. එතෙක් සිය පුරවැසියන්ට සහ හමුදාවට එල්ල වන තර්ජන මැඩපැවැත්වීම අඛණ්ඩව සිදුකරන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය පවසන්නේ, තමන් බර අවි භාරදීම රඳා පවතින්නේ ඊශ්‍රායලය සියලු ආක්‍රමණ අවසන් කර ගාසා තීරයෙන් හමුදා ඉවත් කර ගැනීම මත බවයි. එමෙන්ම, මෙම සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා තමන් බැරෑරුම්ව හා වගකීමෙන් කටයුතු කරන බව හමාස් නිලධාරියෙකු බීබීසීයට ද පවසා තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළ ට්‍රම්ප්ගේ මෙම සැලැස්මට හමාස් නිරායුධ කිරීම, ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම, ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම සහ ගිවිසුම අධීක්ෂණයට සාම මණ්ඩලයක් පත් කිරීම ඇතුළත් වී තිබුණා.
ඊශ්‍රායලයේ මෙම ප්‍රතික්ෂේප කිරීම ට්‍රම්ප්ගේ ගාසා සාම සැලැස්මට එල්ල වූ දැඩි ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ.
පසුගිය ඔක්තෝබර් මාසයේදී මූලික සටන් විරාමයකට එකඟ වුවද, ඊශ්‍රායලය තවදුරටත් ගාසා තීරයට ප්‍රහාර එල්ල කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.



