Facebook පරිශීලකයන්ගේ දත්ත පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් නොමඟ යැවූ බවට ජූරි සභාව තීන්දු කිරීමෙන් පසු Meta සමාගමට ඩොලර් බිලියන 35ත් 40ත් අතර දඩයක් නියම කරන ලෙස නිව් මෙක්සිකෝ ප්රාන්තය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
Cambridge Analytica සමාගම තෙවන පාර්ශ්ව යෙදුමක් හරහා Facebook පරිශීලකයන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත අවසරයකින් තොරව ලබාගැනීමේ සිද්ධිය පදනම් කරගෙනයි 2021 වසරේදී මෙම නඩුව ගොනුකර තිබුණේ.
පසුගිය සැප්තැම්බර් 25 වැනිදා ජූරි සභාව තීන්දුව ලබාදී ඇති අතර Meta සමාගම ගෙවිය යුතු අවසන් දඩ මුදල තීරණය කිරීමට විනිසුරු ෆ්රැන්සිස් මැතිව් කටයුතු කිරීමට නියමිතයි.
ඊයේ පැවැති විභාගයේදී දඩ මුදල සම්බන්ධයෙන් නිව් මෙක්සිකෝ ප්රාන්තයේ නීතිඥයන් සහ Meta සමාගමේ නීතිඥයන් අතර උණුසුම් මතභේදයක් ඇතිවුණා.
පරිශීලක දත්ත වෙත ප්රවේශ විය හැක්කේ කාටද යන්න මෙන්ම Facebook හි පළවන වෛරී ප්රකාශ සහ වැරදි තොරතුරු පාලනය සම්බන්ධයෙන් Meta සමාගම පරිශීලකයන් නොමඟ යවා ඇති බවටයි නඩුවෙන් චෝදනා කරන්නේ.
Meta සමාගම සහ එහි ප්රධානීන් කළ ප්රකාශ 29කින් 26ක්ම නොමඟ යවන සුළු බවත්, එමගින් පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් මිලියන 43කට වැඩි ප්රමාණයක් සිදුව ඇති බවත් ජූරි සභාව තීරණය කළා.
ප්රාන්ත නීතියට අනුව එක් උල්ලංඝනයකට ඩොලර් 5,000ක් දක්වා දඩ පැනවිය හැකි වුවද, එය ආණ්ඩුක්රම ව්යවස්ථානුකූල ගැටලුවක් විය හැකි බැවින් උපරිම දඩයෙන් 20%ක් වන ඩොලර් බිලියන 35ත් 40ත් අතර මුදලක් පනවන ලෙස ප්රාන්ත නීතිඥ රන්දි මැක්ගින් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් Meta සමාගමේ නීතිඥ මැට් නිකල්සන් එය “අති විශාල දඩයක්” ලෙස හඳුන්වමින් දඩ මුදල ඩොලර් බිලියන 3.45කට සීමා කරන ලෙස ඉල්ලා සිටියා.
සමාගම දත්ත අලෙවි කර නැති අතර කිසිදු පාරිභෝගිකයෙකු නොමඟ ගිය බව ප්රාන්තය ඔප්පු කර නැති බවද Meta සමාගම තර්ක කරනවා.
මෙම නඩුවේ අවසන් තීන්දුව මෙලෙස ක්රියාත්මක වන අතර විනිසුරුවරයා මෙම මාසයේ අග භාගයේදී තීන්දුව ලබාදීමට නියමිත බවයි විදෙස් මාධ්ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.



