HomeNewsවිනිසුරුවරුන්ගේ වැටුප් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් Advance Personal Income Tax (APIT) අඩු කිරීම අධිකරණ ස්වාධීනත්වයට පටහැනි නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

S.C. Appeal No. 165/2023, 166/2023 සහ 172/2023 යන අභියාචනා තුන ඒකාබද්ධව විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී ඇත. අදාළ නඩු 2025 නොවැම්බර් 20 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කර ඇති අතර තීන්දුව 2026 සැප්තැම්බර් 15 වැනිදා ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම අභියාචනා මහාධිකරණ විනිසුරු සංගමය, අධිකරණ සේවා සංගමය සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් නියෝජනය කරන සංගමය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබිණි. ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් මෙම නඩු මගින් නියෝජනය වී තිබේ.

නඩුවේ ප්‍රධාන නීතිමය ප්‍රශ්නය වූයේ විනිසුරුවරුන් බදු ගෙවිය යුතුද යන්න පමණක් නොවේ. දේශීය ආදායම් පනත යටතේ විනිසුරුවරුන් “Employee” ලෙසත්, ඔවුන්ගේ වැටුප් ගෙවීමේ පරිපාලන ක්‍රියාවලියට සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා “Employer” ලෙසත් සැලකිය හැකිද යන්න මෙහි ප්‍රධාන කරුණක් වී තිබිණි.

පෙත්සම්කරුවන් තර්ක කර තිබුණේ විනිසුරුවරයෙකු සාමාන්‍ය සේවා ගිවිසුමක් යටතේ සේවය කරන සේවකයෙකු නොවන බවයි. විනිසුරුවරයාගේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියෙන් ලැබෙන බැවින් සාමාන්‍ය සේවක–සේවායෝජක සම්බන්ධතාවක් ඔවුන්ට අදාළ කිරීම අධිකරණ ස්වාධීනත්වයට බලපෑ හැකි බව ඔවුන්ගේ ස්ථාවරය වී තිබිණි.

එහෙත් වගඋත්තරකරුවන් පෙන්වාදී තිබුණේ විනිසුරුවරුන්ට ආදායම් බදු ගෙවීමෙන් ව්‍යවස්ථාමය නිදහසක් ලබාදී නොමැති බවයි. APIT යනු වෙනම බද්දක් නොව ගෙවිය යුතු ආදායම් බද්ද පෙර අයකර ගැනීමේ ක්‍රමයක් බවද ඔවුන් සඳහන් කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේදී “Employer” යන වචනය දේශීය ආදායම් පනතේ විශේෂ නීතිමය අර්ථය අනුව තේරුම් ගත යුතු බව පැහැදිලි කර තිබේ. අමාත්‍යාංශ ලේකම්වරයා “Employer” ලෙස සැලකීමෙන් විනිසුරුවරුන්ගේ නඩු විභාග, තීන්දු හෝ අධිකරණ අභිමතය පාලනය කිරීමට ඔහුට බලයක් හිමි නොවන බවද අධිකරණය අවධාරණය කර ඇත.

අධිකරණ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්මයක් බව පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරුවරුන්ගේ වැටුප් අත්තනෝමතික ලෙස අඩු කිරීම සහ සියලු පුරවැසියන්ට පොදුවේ අදාළ වන බද්දක් අයකිරීම එකම ක්‍රියාවක් නොවන බවද පෙන්වාදී තිබේ.

ඒ අනුව විනිසුරුවරුන් විශේෂයෙන් ඉලක්ක නොකර, සියලු පුරවැසියන්ට පොදුවේ අදාළ වන ආදායම් බදු නීතියක් යටතේ ඔවුන්ගේ වැටුපෙන් APIT අඩු කිරීමෙන් අධිකරණ ස්වාධීනත්වය උල්ලංඝනය නොවන බව මෙම තීන්දුවේ මූලික නීතිමය ස්ථාවරය වී තිබේ.

මෙම තීන්දුව මගින් අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ රටේ පොදු බදු නීතිය යටතේ විනිසුරුවරුන්ට පවතින බදු වගකීම අතර නීතිමය සීමාව පිළිබඳ වැදගත් පැහැදිලි කිරීමක්ද ලබාදී තිබේ.

අගවිනිසුරු  ප්‍රීති පද්මන් සුරසේන ශිරාන් ගුණරත්න ජනක් ද සිල්වා මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල එම තින්දු  නිකුත් කොට තිබෙි.

පෙත්සම්කරුවන් වෙනුවෙන්  නීතිඥ  සුගත් කල්දේරා හිරාන් ඇනකටෙල්   සමග ⁣ජනාධිපති නීතිඥ  ආචාර්ය  රොමේෂ් ද සිල්වා මහතාත් දුතික පෙරේරා  සමග ජනාධිපති නීතිඥ  ශමිල් පෙරේරා  යන මහත්වරු පෙනී සිටි අතර නිතිපතිවරයා  වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන්  නීතිඥ  සුගත් කල්දේරා හිරාන් ඇනකටෙල්   සමග ⁣ජනාධිපති නීතිඥ  ආචාර්ය  රොමේෂ් ද සිල්වා මහතාත් දුතික පෙරේරා  සමග ජනාධිපති නීතිඥ  ශමිල් පෙරේරා  යන මහත්වරු පෙනී සිටි අතර නිතිපතිවරයා  වෙනුවෙන්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්  මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියහ.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01