HomeNewsකාර්යාංශය ඇතුළේදීම ඊශ්‍රායල් ජොබ් විකුන්න දෙදෙනෙක් අත්අඩංගුවට

කාර්යාංශය ඇතුළේදීම ඊශ්‍රායල් ජොබ් විකුන්න දෙදෙනෙක් අත්අඩංගුවට

ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා හෝටල් ක්ෂේත්‍රයන්හි රැකියා ලබාදෙන බව පවසා රැකියා අපේක්ෂිතයින්ගෙන් මුදල් අයකළ දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළදී ඊයේ දින (8/12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින්.

රජයේ මැදිහත්වීමෙන් ලබාදෙන ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා අවන්හල් ක්ෂේත්‍රයේ රැකියා තමන්ට ලබාදිය හැකි බව පවසා පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු විසින් ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් වෙබ් අඩවියේ රැඳී සිටින පුද්ගලයින්ගෙන් මුදල් අයකරන බවට විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාට ලද තොරතුරක් අනුව මෙම විමර්ශනය සිදු කර තිබෙනවා.

එම තොරතුර අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් කාර්යාංශයේ පළමු මහලේදී මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

ඉන් පළමු සැකකරු බුත්තල ප්‍රදේශයේ පදිංචි සේවය අත්හිටවනු ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර, අනෙක් සැකකරු බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවද කාර්යාංශය වැඩිදුරටත් පවසනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍ර 7ක්, ඊශ්‍රායල් රැකියා ගිවිසුම් පත්‍රිකාද තිබී නිළධාරීන් භාරයට ගෙන තිබෙනවා.

මොවුන් විසින් රැකියා අපේක්ෂිතයින් කිහිපවරක් කාර්යාංශය තුළට කැඳවා රැකියා ලබාදිය හැකි බවට විශ්වාසය ඇතිවන පරිදි කටයුතු කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණ කරගෙන තිබෙනවා.

එසේම ඔවුන් කාර්යාංශයේ නිළධාරීන් ලෙස හැගී යන පරිදි කටයුතු කර ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මීට පෙර ඊශ්‍රායල් රැකියා ජාවාරමේ නිරතවීම හේතුවෙන් කාර්යාංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම වී සිටින චාන්දනී මැණිකේ නම් කාන්තාවක් විසින් මෙම සැකකරුවන් මෙහෙයවා ඇති බවටද විමර්ශන නිළධාරීන්ට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම ජාවාරම සම්බන්ධයෙන් විමර්ශන නිළධාරීන් විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කාර්යාංශය මගින් සේවාවන් ලබාගැනීමට පැමිණෙන මහජනතාවට, ඔවුන්ට අවශ්‍ය සේවාව ලබාගැනීම සඳහා අදාල අංශවල සේවය කරන නිළධාරීන්ගෙන් පමණක් සිය සේවාවන් හා තොරතුරු ලබාගන්නා ලෙස හෝ එසේ නොමැති නම් පිළිගැනීමේ කවුළුවේ සිටින නිළධාරීන්ගෙන් සේවය ලබාගන්නා ලෙස කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එසේම කොරිඩෝව තුළ හෝ පිටත රැඳී සිටින කිසිඳු පුද්ගලයෙකු සමග ගණුදෙනු කිරීමෙන් වලකින ලෙසද කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01