HomeForiegn Newsඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි

ඉන්දියාවේ වනාන්තරයකින් දුර්ලබ ඔරංඔටං පැටවුන් 05ක් හමුවෙයි

ජාත්‍යන්තර ජාවාරමක් ගැන පරීක්ෂණ

ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තයේ වනාන්තරයකින් කුඩා ඔරංඔටං පැටවුන් පස්දෙනෙකු සොයාගෙන තිබෙනවා.

එම පැටවුන් එතැනට පැමිණියේ කෙසේදැයි සෙවීම සඳහා දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි බීබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.

ඔරංඔටං යනු ඉන්දියාවට ආවේණික සතෙකු නොවන අතර, උන් දැකගත හැක්කේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ පමණයි.

මෙම අතිශය දුර්ලභ සතුන් අයත් නිවර්තන වැසි වනාන්තරවල සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි වනාන්තරයකින් හමුවීම විශේෂත්වයකි.

ජාත්‍යන්තර ජාවාරම්කාර ජාලයක් මගින් සතුන් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙනැවිත් අතහැර දමා ඇත්දැයි පරීක්ෂණ පවත්වන බව ඔඩිෂා වන සංරක්ෂණ අමාත්‍යවරයා පවසනවා.

ප්‍රදේශවාසීන් පිරිසක් මෙම පැටවුන් දැක වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබුණා.

සතුන්ට ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව, භුවනේශ්වර් හි පිහිටි නන්දන්කානන් සත්වෝද්‍යානය වෙත ගෙනගොස් නිරෝධායනයට ලක්කර තිබෙනවා.

මෙම සතුන්ට ස්වාභාවිකව ඔඩිෂා වෙත පැමිණීමට නොහැකි අතර, උන්ව මාර්ග ප්‍රවාහනය මගින් ගෙන එන්නට ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙම සතුන් පස්දෙනා හමුවී ඇත්තේ බස්නාහිර බෙංගාල මායිම ආසන්නයේ පිහිටි මහා මාර්ගයකට ආසන්න වනාන්තර ප්‍රදේශයකින්.

මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලෙස ඉන්දියානු වනජීවී අපරාධ පාලන කාර්යාංශයෙන්ද ඔඩිෂා රජය ඉල්ලීමක් කර තිබෙනවා.

වනාන්තරය තුළ සිදුකළ සෙවුම් මෙහෙයුම්වලදී වෙනත් ඔරංඔටං සතුන් හෝ වෙනත් කිසිදු හෝඩුවාවක් හමු වී නැහැ.

මෙම සතුන් අවුරුදු එකත් දෙකත් අතර වයසේ පසුවන බවයි ප්‍රදේශීය වාර්තා සඳහන් කරන්නේ.

උන්ගේ කුඩා වයස නිසා මෙම සොයාගැනීම වඩාත් කනගාටුදායක සහ බරපතල එකක් වන බව වනජීවී විශේෂඥයින් පෙන්වා දෙනවා.

තරුණ ඔරංඔටං පැටවුන් සාමාන්‍යයෙන් වසර ගණනාවක් තිස්සේ උන්ගේ මව සමඟ සිටින අතර, ගැහැණු සතෙකු පැටවෙකු බිහි කරන්නේ වසර අටකට වරක් පමණයි.

[featured_video_btn]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[wpdevart_facebook_comment]

Page 01