වනඅලි සහ මිනිසුන් අතර පවතින උග්‍ර අර්බුදයේ තවත් කනගාටුදායක සිදුවීමක් වාර්තා කරමින් මීගලෑව අත්දත්ගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ 71 වියැති කොබෙයිගනේ ගුණරතන ස්වාමීන් වහන්සේ වනඅලි ප්‍රහාරයකට ලක්ව ඉකුත් 10 වනදා උදෑසන අපවත් වී තිබෙනවා.
අපවත් වී වදාළ ගුණරතන හිමියන් එදින උදෑසන දාන ශාලාවෙන් දන් වළඳා නැවත සිය භාවනා කුටිය දෙසට වැඩම කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබෙනවා.
දහවල් දානය සඳහා උන්වහන්සේ වැඩම නොකිරීම හේතුවෙන් සැකසිතූ ආරණ්‍ය සේනාසනයේ සසුන්බර අනෙකුත් හිමිවරුන් උන්වහන්සේ පිළිබඳව සොයා බලා තිබෙනවා.
එහිදී භාවනා කුටි වෙත වැටී ඇති ඝන වන ලැහැබ සහිත මාර්ගයේ තිබී උන්වහන්සේගේ අපවත් වූ දේහය හමුවී තිබෙනවා.
හිමිවරුන් 19 නමක් වැඩවසන ඇත්දත්ගල ආරන්ය සේනාසනය පිහිටි පරිසර පද්ධතිය වර්තමානයේදී වන අලින්ගේ දැඩි තර්ජනයට ලක්ව ඇති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙනවා.
මෙම ප්‍රදේශය තුළ නිතර නිතර වනඅලි හානි සිදුවන අතර පවතින අනාරක්ෂිතභාවය පිළිබඳ ප්‍රදේශවාසීන් මෙන්ම සංඝරත්නයද දැඩි කනගාටුව පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මීගලෑව පොලිසිය සහ ප්‍රදේශයේ වනජීවි කාර්යාල නිලධාරීන් මේ වන විටත් සිදු කරනු ලබනවා.



