අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල මේ මස19 වැනිදා යළි කැඳවන ලෙස අභියාචනාධකරණය නියම කරයි.
මෙම පැමිණිල්ල අද (15) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය චමත් මොරායස්, සහ ආදිත්ය පටබැඳිගේ ඇතුළු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම පැමිණිල්ලට අදාළව කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවතින නඩු ගොනුවේ පිටපත් මේ දක්වා ලැබී නොමැති බවයි.
එම පිටපත් ගෙන්වා ගැනීමට අවශ්ය නියෝග නිකුත් කර තිබෙන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.
ඒ අනුව මෙම පැමිණිල්ල නැවත සලකා බැලීම සඳහා මේ මස 19 වැනිදා කැඳවන බවත් විනිසුරු මඩුල්ල නියම කළේය.
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවාගැනීමට විරෝධය පළ කරමින් පැවැති විරෝධතාවලදී පළ කරනු ලැබූ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ , උදය ගම්මන්පිල ,පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රත් අධිකරණය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.



